ඩුබායි දහම් පාසලේ ඉතිහාසය

සිසු සිසුවියන් 120 දෙනෙකුගෙන් සහ 8 දෙනෙකුගෙන් සැදුම් ලත් ගුරු මණ්ඩලයකින්, 2001 වසරේ අප්‍රේල් මස ආරම්භ වූ අපේ දහම් පාසල අද 2015 වසරේ වන විට තව දුරටත් පුංචි පාසලක් නොවේ. පසුගිය වසරේ දහම් පාසලේ ඉගෙනුම ලැබූ දරුවන් ගණන 600 කට අධික වේ. දහම් පාසලේ ආරම්භයේ සිට ඉගෙනුම ලැබූ සහ අද වන විට අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණන 1350 ඉක්මවා ඇත.

ස්වේච්චාවෙන් ඉදිරිපත් වී දරුවන් හට ඉගැන්වීම් කරන ගුරු මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විතය. සිය බාල කාලයේ පාසලෙන් පන්සලෙන් මෙන්ම පරිසරය තුලින් ඔවුන් තම ජීවිත වලට එක්කර ගත් සියලු සාරධර්මයන්ද ගුණ නුවණ ද ඩුබායි සහ උතුරු එමීරයන්හි වසන අපේම දූ දරුවන්ගේ ජීවිත වලට දායාද කරනු වස් ඔවුන් දරන්නේ අප්‍රමාණ වෙහෙසකි. එමෙන්ම තමන්ගේ ජාතියට තමන් අතින් ඉටුවිය යුතු ඒ යුතුකම ඔවුන් ඉටු කරන්නේ අප්‍රමාණ භක්තියකිනි.

1

දහම් පාසලේ මුලින්ම ලියාපදිංචි වීම‍ට නොඉවසිල්ලෙන් සිටින දරු දැරියන් සමග දහම් පාසල ආරම්භයේ අප සමග සිටි මාමලා නැන්දලා කිහිප‍ දෙනෙක්.

2

දහම් පාසලේ ප්‍රථම දින සැමරුම් ආවර්ඡනය මෙලෙස ඔබ හමුවේ තබමු

his-3

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ උතුරු එමීරයේ වසන ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් සිංහල භාෂාව, ශ්‍රී ලාංකික උරුමය සහ බුද්ධාගම ඉගැන්වීමේ අවශ්‍යතාව කලක පටන් කාගේත් සිත් තුල පැලපදියම් වු කාරනාවක්ව පැවතින. කරුණු කාරනා එසේ වුවත් එම අවශ්‍යතා යටපත් කරගෙන සිටි බොහෝ දෙමාපියන් වැලි කතරට දිය බිදක් සේ දහම් පාසලක ආරම්භය පිළිබදව එම සුභ ආරංචිය කන වැටින. ක්‍රමක්‍රමයෙන් වැඩිවූ සිසුන් සංඛ්‍යාව කෙසේවත් කොන්සල් ජෙනරාල් කාර්යාලයට ඔරොත්තු නොදෙන තත්වයකට පැමිණි හෙයින් වෙනත් නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතුවිය. අද දින ඇති ගොඩනැගිල්ල බිහිවූයේ එම අවශ්‍යතාව මතිනි. මෙම ගොඩනැගිල්ල තැනීමට අවශ්‍ය මූල්‍ය ධනය සොයා ගැනීමට දෙමාපියන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී.

කොම්ටි සාමාජිකයින් සහ ව්‍යාපෘති කොමිටි සාමාජිකයින් දිවා රාත්‍රියේ වෙහෙස නොබලා මුදල් ‍රැස් කිරීමේ කාර්යයේ නියලුන අතර සිසු සිසුවියන් ද කාඩ් පත් වල කොටු පුරවමින් දායක විය. ගරු කොන්සල් ජෙනරාල් සෝමසිරි මැතිතුමාද මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු වලට දායක වෙම්න් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්ද මුදලක් ලබා‍ දෙන ලදී.

දහම් පාසලේ ක්‍රියාකාරී කමිටු සාමාජික මහතුන්ගේ සම්බන්දතාවයෙන් ඩුබායි හි විදේශීය ගොඩනැගිලි ඉදිකකිරීම් සමාගමක් වන අල් බදර් සමාගම ‍ගොඩනැගිල්ල ඉතාමත්ම සහනදායී මුදලකට ඉදි කර දුනි. එම සමාගම විසින්ම දහම් පාසල් ශාලාවට යාව එක් පන්තියක් පවත්වාගෙන යාමට හැකි කාමරයක්ද ඉතාමත් සහන මිලකට ඉදිකර දීම අපට තවත් අස්වැසිල්ලක් විය.

3එමෙන්ම වෙනත් විදේශීය ගොඩනැගිලි සමාගම් කිහිපයක් ඉදිරිපත් වී නව දහම් පාසල් ගොඩනැගිල්ල තුල අලංකාර බුදු මැදුරක්ද ඉදිකර දෙන ලදී

ගරු කොන්සල් ජෙනරාල් සෝමසිරි මැතිතුමාගේ සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් හෙළ සිරිතට අනුව කිරි ඉතිරවීමෙන් නව ගොඩනැගිල්ල 2003 පෙබරවාරි 7 වැනිදා විවෘත කරන ලදී. මෙය අප ලැබූ විශාලතම ජයග්‍රහණයක් යැයි සනිටුහන් කරමු. කොන්සල් ජෙනරාල් තුමාගේ පූර්ණ සහයෝගයත් ඔබ සැමගේ නොමසුරු ආධාරයත් අපගේ ධෛර්යයත් දම්වැලක පුරුකක් සේ එකට එක්වු‍ හෙයින් එම සතුට සියල්ලන් සමග එකට එක්ව විද ගැනීමට අප සමත්වීමු.

පාසල් සිසු දරු දැරියන්ගේත්, ගුරු මණ්ඩලයේත්, දෙමාපියන්ගේත් උපකාරය මත එම නිදහස් භූමියේම අප දැයේ 55 වන නිදහස් උළෙල උත්සවාකාරයෙන් පැවැත්වීමු.

history-4අභිමානවත් ජාතියක අනාගත අංකුර මෙලෙස සැදී පැහැදී සිටින්නේ සිය බලාපොරොත්තුව වූ දහම් පාසල සදහා ගොඩනැගූ නව ගොඩනැගිල්ල විවෘත වන තෙක්ය.

දහම් පාසලේ ආරම්භයට උරදී විශාල මෙහෙවරක් කල ලලිත් කරුණාරත්න මහතා විසින් පිළියෙල කරන ලද සුභ මොහොතින්  ඩුබායිහි ශ්‍රී ලංකා ජනරාල් කාර්යාලයේදී අපගේ සිහින සැබෑ විය. දහම් පාසලේ ආරම්භයට විශාල වශයෙන් උදවු වූ ගරු අශෝක ගොඩවිට මැතිතුමාද සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි.

4දහම් පාසල ආරම්භ කල පළමු දිනයේදී ම සිසු සිසුවියන් 99 දෙනෙකු ලියාපදිංචි වීම ඩුබායි සහ උතුරු එමීර රාජ්‍ය වල වසන සිංහලයන්ගේ බලාපොරොත්තුවේ පිපාසය මොනවට ඔප්පු වීමක් නොවේද?

නව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කරන දිනයේ එවකට ගරු කොන්සල් ජෙනරාල් පදවියේ සිටි සෝමසිරි මැතිතුමා සිය බිරිදද සමගින් දහම් පාසල සදහා ගොඩනැගූ ගොඩනැගිල්ලේ විවෘත කිරීමේ අවස්ථාව සංකේතවත් කිරීම සදහා සහභාගී වෙමින්.

දහම් පාස‍ලේ ආරම්භයේ පටන්ම අපේ උරුමය සහ සිංහල භාෂාව යන විෂය ඉගැන්වූ අතර පසු කලක බුද්ධාගම ද විෂයයක් වශයෙන් සිසු පරපුර පෝෂණය කිරීමට ආරම්භ කරන ලදී.

6

7

9

8දහම් පාසල පවත්වාගෙන යන ශාලාව ඉදිකිරීමට මුලිකව අවශ්‍ය අවසරය සහ පහසුකම් සැලසූ ගරු කොන්සල් ජනරාල් බන්දුල සෝමසිරි මහතා තම සේවා කාලය අවසන් කර 2004 වසරේ ඩුබායි දේශයෙන් සමුගත් අතර නව කොන්සල් ජෙනරාල් පී.ඩී. ප්‍රනාන්දු මහතාගේ පැමිණීම අප හට ලැබුණු තවත් සහනයක් විය. දහම් පාසල පවත්වාගෙන යන ශාලාව මුලිකව ඉදිකෙරුනේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ වාහන නවතා තැබීමට සඳහා බව ප්‍රකාශ කල අතර සිකුරාදා දින උදය වරුවේ වලදී දහම් පාසල පැවැත්විය. දහම් පාසල පැවැත්වීම සඳහා සිකුරාදා දිනයන්හිදී ශාලාව සුදානම් කිරීම කල් වෙලා ඇතුව පැමිණෙන කමිටු සාමාජිකයන් සහ දෙමාපියන් විසින් සිදුකරන ලදී.

ගරු කොන්සල් ජෙනරාල් පී. ඩී. ප්‍රනානදු මහතාගේ පූර්ණ සහයෝගය මේ වන විට දහම් පාසලට ලැබී තිබීම ශ්‍රී ලංකික දරු දැරියන්ගේ ඉගෙනීමට සහ ශ්‍රී ලාංකික ප්‍රජාවට විශාල ආශිර්වාදයක් විය. නව ශාලාවේ වාහන නැවතීම නවත්වා එම ශාලාව දහම් පාසල් ශාලාව වශයෙන් පුර්ණ වෙන් කිරීම එතුමාගෙන් අප හට ලැබුන විශේෂ දායාදය විය. එවක් පටන් මෙම ශාලාව දහම් පාසල පවත්වාගෙන යාමට සහ දහම් පාසල් දරුවන්ගේ වැඩසටහන් පැවැත්වීම සඳහා පමණක් වෙන් විය.

මේ ශාලාව දහම් පාසල පැවැත්වීමට අමතරව දහම් පාසලේ මුලිකත්වයෙන් පැවැත්වෙන ආගමික සහ සංස්කෘතික වැඩ සටහන් පැවැත්වීමටද භාවිතා විය. සෑම සිකුරාදා දිනකදීම සවස මෙම ශාලාවේ බුද්ධ වන්දානාවක් සහ ධර්ම දේශනයක් පැවැත්වීම ශ්‍රී ලාංකික බොදු බැතිමතුන් හට ලැබුන සහනයක් විය. දහම් පාසලේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ධර්ම දේශනා, සීල සමාදාන පින්කම්, සහ වාර්ෂික පිරිත් පිංකමද පැවැත්වීම සඳහා මේ වන විට මෙම ශාලාව භාවිතා විය.

Sil pinkama
දහම් පාසලේ දරුවන් සිල් සමාදන් වී

මෙම වකවානුව වන විට දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ සංක්‍යාව 300 ඉක්මවා තිබීම දහම් පාසලට නව සිසුන් බඳවා ගැනීමට තර්ජනයක් වෙමින් පැවතින.

2007 වසරේ පී.ඩී ප්‍රනාන්දු මහතා ඩුබායි දේශයෙන් සමුගත් අතර නව කොන්සල් ජෙනරාල් වශයෙන් පැමිණි වසන්ත සේනානායක මහතාගේ අවසරය මත දහම් පාසල් ශාලාව සහ කොන්සල් ජෙනරාල් කාර්යාලය අතර තිබු ඉඩ ප්‍රමාණය ප්‍රයෝජනයට ගෙන තවත් ශාලාවක් ඉදි කර ගැනීම දහම් පාසලේ ක්‍රියාකාරී කමිටුවට හැකි විය. කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රය තුල මෙම ගොඩනැගිලි ඉදිකිරීමේදී මෙම ගොඩනැගිලි හිමි සමාගමෙන් අපට ලැබුණු සහයෝගය අප ඉතා අගය කරමු.

කාලයාගේ ඇවෑමෙන් දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරු දැරියන් ගේ සංක්‍යාව සීග්‍රයෙන් වර්ධනය වීම නැවතත් දහම් පාසල සාර්ථකව පවත්වාගෙන යාමට විශාල ගැටලුවක් විය. 2011 වසර වන විට දහම් පාසලේ දරු දැරියන්ගේ සංඛ්‍යාව 450 ඉක්මවා තිබුන අතර මේ සඳහා තිබුන එකම විසඳුම වශයෙන් දහම් පාසල වරු දෙකක පැවැත්වීමට තීරණය කරන ලදී. මේ අනුව 2011-2012 අධ්‍යයන වසරේ සිට දහම් පාසැල උදය වරුවේ සහ සවස් වරුවේ පැවැත්වීම ආරම්භ විය. වරු දෙකක පන්ති පැවැත්වීම සඳහා අවශ්‍ය ගුරු මණ්ඩලය සකසා ගැනීම දුෂ්කර කරුණක් වුවද එවකට දහම් පාසලේ සේවය කල ගුරුවරුන් සහ ගුරුවරියන්ගෙන් ලැබුන නොමඳ සහයෝගය නිසා දෙවරුවේ පන්ති ඉතා සාර්ථකව පවත්වාගෙන යාමට අපට හැකි විය. මේ සඳහා අපගේ ගුරු මණ්ඩලය අප දරුවන් උදෙසා කල පරිත්‍යාගය සහ කැපකිරීම නොවේ නම් දහම් පාසල සාර්ථකව පවත්වාගෙන යෑම අපට ගැටළු සහගත වීමට ඉඩ තිබිණ.

Teachers
2014-2015 වසරේ ගුරු මණ්ඩලය

දහම් පාසලේම අටවන පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූ දරුවන් කිහිප දෙනෙක් දහම් පාසලේ ශිෂ්‍ය ගුරු/ගුරු සහායක වශයෙන් තවදුරටත් ගුරු මණ්ඩලයට සහයෝගය දෙමින් තම වටිනා කාලය අප දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා යොදවන්නේ අනෙකුත් දරුවන් හට ආදර්ශමත් ලෙසය.

2011 වසරේදී නව ගරු කොන්සල් ජෙනරාල් වශයෙන් පත්වූ අබ්දුල් රහීම් මැතිතුමා ගෙන් දහම් පාසල පවත්වාගෙන යාම සඳහා අපහට ඉතාමත් අගනා සහයෝගයක් ලැබුන අතර එතුමාගේ අවසරය මත දහම් පාසලේ ඉදිරිපස තවත් කුඩා ශාලාවක් ඉදිකරගත හැකි විය. මෙම ශාලාව ඉදිකිරීම සහ වසර කිහිපයක සිට දහම් පාසල් ශාලා සහ අවට පරිසරය නඩත්තු කිරීම සඳහා දහම් පාසලේ ක්‍රියාකාරී කමිටු සාමාජික මහතෙකුගේ සම්බන්ධතාවය මත ඩුබායිහි විදේශික වෙළඳ සමාගමක් ඉදිරිපත් වී අවශ්‍ය ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සියල්ල නොමිලයේ කර දෙන්නේ ඉතාමත් භක්තියකිනි. එමෙන්ම අප ශාලාවන්හි විදුලි සහ වායු සමීකරණ අලුත්වැඩියා කිරීම ආදී කටයුතුද ආයතනික සමාජ වගකීමක් ලෙස සලකා නොමිලයේ කරදීමට දහම් පාසල් දැරියකගේ දෙමාපියනට හිමි ශ්‍රී ලාංකික සමාගමක් සහ තවන් දෙමාපියන් කිහිපදෙනෙකුගේ ඉදිරිපත් වීම අප කෙරෙහි සමාජය තබා ඇති විශ්වාසය මොනවට ප්‍රදර්ශනය කරයි.

දහම් පාසලේ ආරම්භයේ සිටම එහි දියුණුව උදෙසා සහ එමගින් පැවැත්වූ උත්සව ආදියට මුල්‍ය වශයෙන් සහ වෙනත් අයුරින් ආධාර උපකාර කල ෆ්‍රයිකෝ ජාත්යන්තර සමාගමට අපගේ ස්තුතිය පුදකරමු.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ උතුරු එමීරයේ වසන මුලු මහත් සිංහල ජාතියේම වාසනාවට ආරම්භ කල දහම් පාලලේ මුල් අවධියේ දූ දරුවන් අකුරු ඉගෙන ගත්තේ ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලයේ රැස්වීම් ශාලාවේ, ආලින්දයේ සහ මුලුතැන්ගෙයි බිම පැදුරු එලාගෙන බව මතක් කරනුයේ හද පිරි සතුටිනි. එදා පංති 6කින් ආරම්භ කල දහම් පාසල අද පංති 18 ක් දක්වා වර්ධනය වීම මෙන්ව අද වන විට ලියාපදිචි දරු දැරියන් සංඛ්‍යාව 1350 ඉක්මවා තිබීම, අධ්‍යාපනය ලබන දරුදැරියන් 600 ඉක්මවීම සහ ගුරු මණ්ඩලය 30 දක්වා වැඩිවීම එහි සීඝ්‍ර වර්ධනය පිලිඔදව සාක්ෂි දරයි!

තවද 2014 වසරේ ,අපේ දහම් පාසල ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක් බවට පත්වීම ද එහි වර්ධනය පිළිබිඹු කරන්නකි.