කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව උද්ගතවී ඇති අර්බූදකාරී තත්වය

2020 මාර්තු 03 දිනැති අපගේ දැන්වීම් අංක 1920-039 හා සබැදෙයි.

වර්තමානයේ ලෝකය පුරාම ව්‍යාප්තව ඇති කොවිඩ්-19 වසංගත රෝගය ආශ්‍රිතව ඍජුවම පවතින තත්වයන් පිළිබඳව අප සියලු දෙනා බොහෝ සෙයින් දැනුවත්වී ඇති බැවින් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතුයැයි අප නොසිතමු. එසේවූවද, මෙම වසංගතය වක්‍රාකාරව අප ජීවන රටාව වෙත ඉතා දරුණු බලපෑම් ඇතිකර ඇති බැවින් ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමු.

ප්‍රථමයෙන්ම, මෙම දේශයේ පවතින තත්වයන් යටතේ දහම් පාසලේ මෙම අධ්‍යයන වසරේ ඉතිරි සති කිහිපය තුල අධ්‍යයන කටයුතු සදහා දහම් පාසල නොපැවත්වෙන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු. ඒ අනුව, මෙවර සිඟිති සිංහල අවුරුදු උත්සවය, දහම් පාසලේ සංවත්සර උත්සවය, වෙසක් සිල් පිංකම සහ වෙසක් උත්සවය නොපැවත්වෙන බව කණගාටුවෙන් දැනුම් දෙමු. එසේ වුවද, අප දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපන කටයුතුවලින් ලබාගත් අවබෝධය දරුවන්ගේ මතකයෙහි රඳවා ගැනීම උදෙසා අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ පවත්වන, පසුගිය පාඩම් සිහිපත් කිරීමේ වැඩපිළිවෙලක් නුදුරු අනාගතයේදීම දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

මෙම කොවිඩ්-19 වසංගතය නිසාවෙන් ඩුබායි දේශය තුල උද්ගතවීඇති අර්බූදකාරී සමාජ තත්වයන් අප ශ්‍රී ලාංකීක ප්‍රජාව වෙත බලපා ඇති ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ඔබ සතුව ඇතැයි සිතමු. මේ වනවිට බොහෝ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ රැකියා අහිමිවි ඇති අතර ඉන් කොටසකට තම වාසස්ථානද අහිමිවී ඇති බව දැනගැනීමට ඇත. එසේ අසරණ වූ අපගේ නෑදෑයන්ට සහ ඔවුන්ගේ දුවාදරුවන්ට තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා අවශ්‍ය ආහාරපාන ආදිය සැපයීමට ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පවත්වාගෙන යන්නාවූ සුබ සාධන වැඩපිළිවෙල සදහා හැකි අයුරින් දායක වනලෙස අපගෙන් ඉල්ලීමක් කර ඇත. කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් ප්‍රකාශිත සහන සේවා අවශ්‍ය එක් පවුලක් සඳහා සතියකට පමණ ප්‍රමාණවත් වියලි ආහාර වර්ග සහ අනිකුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය වල විස්තර පහත සඳහන් කර ඇත.

1.       හාල් කිලෝ 5 12.    මිරිස් කුඩු ග්‍රෑම් 100
2.       පරිප්පු කිලෝ 2 13.    කෑලි මිරිස් ග්‍රෑම් 100
3.       ලූණු කිලෝ 2 14.    කහ කුඩු ග්‍රෑම් 100
4.       අර්තාපල් කිලෝ 2 15.    තුනපහ කුඩු ග්‍රෑම් 100
5.       පිටිකිරි කිලෝ 1 16.    ලුණු ග්‍රෑම් 500
6.       සීනි කිලෝ 2 17.    සාඩින් ටින් 2
7.       තේ කොළ ග්‍රෑම් 250 පැකට් 1 18.    කරවල ග්‍රෑම් 500
8.       පාන් පිටි කිලෝ 2 19.    දන්තාලේප පැකට් 1
9.       නූඩ්ල්ස් පැකට් 1 20.    දත්බුරුසු 2
10.     පිටිකළ පොල්කිරි පැකට් 1 [ග්‍රෑම් 400] 21.    සබන් කැට 2
11.     බිස්කට් ග්‍රෑම් 400 22.    රෙදි සේදුම් කුඩු ග්‍රෑම් 500

ඉහත සදහන් වියලි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහන් කර ඇති ප්‍රමාණ වලින් සම්පුර්ණ කරන ලද මල්ලක මිල ඩිරාම් 135/= ක් වන අතර ඒ අනුව ආධාර මල්ලක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම, මෙම සංවේදී අවස්ථාව ඔබේ දරුවන්ට, විපතට පත්වූ අප නෑදෑයන්ගේ වේදනාව අවබෝධ කරවීම සදහා අවස්ථාවක් කරගන්නා මෙන් මතක්කරමු. අප දරුවන්ට පවතින තත්වය පැහැදිලි කරවා, විපතේදී අන් අයට උදව් කිරීමේ ආදීනව පැහැදිලි කර, ඔබ විසින් කරන්නාවූ ද්‍රව්‍යමය පරිත්‍යාග සදහා දරුවන්ගේ පූර්ණ දායකත්වය සහ ක්‍රියාකාරී සහභාගීවීම ලබාගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මෙම පරිත්‍යාගයන් කිරීමට කැමති දෙමාපියන් එම ද්‍රව්‍ය සහිත මලු සකස් කරගැනීමට සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයට යැවීමට අපහසුතාවයක් තිබේනම් කරුණාකර සිසිර මහතා (050 6530329) හෝ ධම්මික මහතා (055 5557308) අමතන්න. මේ වන විට, අපගේ දු දරුවන් වෙනුවෙන් දහම් පාසලේ දෙමාපිය අරමුදලෙන් ආධාර මලු 20 ක් අප විසින් කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ලබාදීමට කටයුතු කර ඇති බව ද සිහිපත් කරමු.

තවද, මීට සමගාමීව සහන සංවිධානය මගින්ද වියලි ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ස්වාධීනව ක්‍රියාත්මක කර ඇති බවත් ඔබ සියලුදෙනාහට දැනුම් දීමට කැමැත්තෙමු.

එමෙන්ම, මෙම අර්බුධකාරී තත්වය නිසා අමිහිරි අභියෝගයකට ලක්වී ඇති අප දහම් පාසලේ දෙමව්පියන් සිටින්නේ නම්, ඉතා ඉක්මනින්ම කොන්සල් ජෙනරාල් කාර්යාලයට (800 119119, 055 8165747, 056 4496417, 050 2243513) හෝ සහන සංවිධානයේ ඒ සදහා ආරම්භ කර ඇති ව්‍යාපෘති කමිටුවේ ජෝර්ජ් 050 5590911, දිනේෂ් 052 9985095, නිශාන්ත 0559702420 හෝ ඉෂ්තියාක් 052 9600045 අමතා ඔබගේ/ ඔවුන්ගේ තොරතුරු යොමුකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

Covid-19 වසංගත තත්වය යටතේ, ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකේය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ප්‍රකාශ කර ඇති සේවාවන් පිලිබඳව දැනගැනීමට පහත සඳහන් දිගුවන් භාවිතා කරන්න.

මෙම අභාග්‍ය සම්පන්න ව්‍යසනයෙන් වැලකීම සදහා නිසි සෞඛ්‍ය හා සමාජීය වත්පිළිවෙත් අනුගමනය කරමින්, මෛත්‍රී සිතින් යුතුව කටයුතු කරමින් අපට හැකි අයුරින් විපතටපත් අප නෑදෑයනට පිහිට වෙමු. ලෝවැසි සියලුදෙනාට මෙම ව්‍යසනයෙන් ඉතා ඉක්මනින්ම අත්මිදීමට හැකිවේවායි නිතර මෛත්‍රී සිතිවිලි පතුරවමු.

සියලු දෙනාටම තෙරුවන් සරණින් හා දෙවි රැකවරණින් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.